රාග, ද්වේශ, මෝහයන්ගෙන් නැගෙන මහා ගින්න දැක නිවා ගනිමු…

මනස පූර්වාංගමව ගොඩනගා ගත් අවිද්‍යා තෘෂ්ණා සහගත ලෝකය, අපි බලාපොරොත්තු වූ සැප ලඟාකර ගැනීම සඳහා අප විසින්ම රැස්කරන කර්ම සහ ඒවායේ විපාක අනුව සැප නමැති මායාවකින් වහපු අනන්ත දුක් ගොඩක් බවත්, ඒ දුකින් මිදීමට නම් මනස පූර්වාංගමව සුවය දෙන වැඩපිළිවෙලක් තුලින් පෙර ගොඩනගා ගත් ලෝකයට ඇති ඡන්දරාගය අත්හැර, ඒ පස්කම් සැප නමැති ලෝකයේ නොඇලී එයින් මිදිය යුතු බවත්, එය නිවීම හෙවත් ඒවායේ ඡන්දරාගය දුරුකිරීම නිවන බවත් පසුගිය කලාපවලින් පෙන්වා දුන්නා.

නිවන්න නම් ගිනි දකින්න ඕන. රාගය ගින්නක්. රාගික හැඟීමක් ආවම ශරීරය උණුසුම් වෙනවා. උණුසුම් වෙන්නෙ ගින්නකින්. “සීත හිම වත සීත නොදැනේ දැනේ උණුසුම ආදරේ” මේ තමයි ලෝකයා හිතන විදිහ. හිම මිදුණු හිමාලයේ සීතලත් නොදැනෙන උණුසුම මොන තරම් විශාල ගින්නක් වෙන්න ඕනද? මේ ගින්නේ ප්‍රමාණය මස්  ලේ  ඇහැට නොපෙනෙන නිසා අපට වැටහෙන්නෙ නෑ. මේ රාග ගින්නෙන් ගොඩනැගෙන ශක්තියේ   ප්‍රමාණය කොච්චරද කියනවනම්, මේ ආස්වාදයට බාධා කරන යමෙක් ඇත්නම්, ඔහු හෝ ඇය මරා දමන්න තරම් ප්‍රබල වන අවස්ථාවන් පවා මාධ්‍ය හරහා අපිට ඕනෑ තරම් දකින්න අහන්න පුළුවන්. අපට මේ ගින්න වැටහෙන්නෙ නැත්තේ මිහිරි හඬ නමැති ආස්වාදයේ මායාවෙන් ශබ්ද මාධුර්යයෙන් සත්‍යය වහල තියෙන නිසයි. ශබ්ද මාධ්‍යය ලෝක ධර්මතාවයේ යථාර්ථය අවබෝධ කරගන්න මහෝපකාරී වුනත්, සාහිත්‍ය රසයන්ගෙන් වට කළාම අර්ථය යටපත් වෙලා ශබ්ද රසය විතරක් මතුවීම අවබෝධයට බාධාවක් බව පේනවා.

ද්වේශය ගින්නක්. තරහක් ආවම ශරීරය ක්‍රියා කරන්නේ කොහොමද? “මට ඕකට දෙකක් ගහන්නම හිතයි….” මෙහෙම කියන කොට අත මිට මෙලවිලා, මුහුණ කට රෞද්‍ර වෙලා, ඒ ගති ලක‍ෂණ උදා කරන්න ශරීරය ක්‍රියාත්මක වුනේ ලේ ධාතුව රත් වීමෙන්. තරහ කෙනෙක් දැක්කම “මගේ ඇඟේ ලේ උණු වුනා. මම අදටත් ඉවසගෙන ආවා” ආදී ලෙස මෙහෙමත් කතාවට කියනවා. එහෙනම් මේ උණු වෙන්නෙ ගින්නකින් නේද?

මෝහය ගින්නක්. තමන්ගෙ දරුවෙක් නිවසින් බැහැර ගිය වෙලාවක ඒ ප්‍රදේශයේ යම් බරපතල විපතක් සිද්ධ වුනොත් අම්මලා මොකද කියන්නේ? “අපොයි මගේ පොඩි එකා. මගේ පපුව පත්තුවෙලා ගියා.” එහෙනම් සත්‍යය මුවා වුනාම හරි දේ නොපෙනෙන කොට මුලා වෙනවා. මේ වගේ ජාති, ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාස කියන මේ ජාතියක් හේතුවෙන් හටගන්නා සියල්ල ගිනි බව දකින්න ඕන.

“හේතුං පටිච්ච සම්භූතං හේතු භංගා නිරුජ්ජතී” කියන බුදු වදන අනුව ජාතිය නිරුද්ධ නම් මේ සියලූ ගිනි උදා වෙන්නෙ නෑ. ගින්නෙන් ගොඩනැගෙන සියලූ දුකින් නිදහස්. ඒ තමයි නිවන. එහෙනම් නිවන කියන්නෙ අලූතින් එකතු කරගන්න සුවයක් නෙවෙයි. විඳිමින් ඉන්න දුකෙන් නිදහස් වීමයි.

උදාහරණයක් ගත්තොත් අපට ප්‍රිය මනාප වාහනයක් තියෙනව කියල හිතමු. වාහනය තියෙන කල් ඒක හෝදල පිරිසිදු කරන්න ඕන. පෙට්‍රල් ආදී ඉන්ධන දාන්න ඕන. කැඩුනොත් පළුදු වුනොත් ප්‍රතිසංස්කරණය කරන්න, රක‍ෂණය කරන්න, බලපත්‍ර ගන්න, දුම් පරීක‍ෂණ සහතික ගන්න…. මේ හැම දේටම දුක් මහන්සිවෙලා උපයා ගත් ධනය වියදම් කරන්න ඕන. පහසුවෙන් ගමන් බිමන් යන එක තමයි ආස්වාදය. හදිසි අනතුරකට පත් වුනොත්, වාහනයට අලාභහානි සිදුවෙනවා වගේම අත පය කැඩිල බිඳිල යන්නත් පුළුවන්. මරණය සිද්ධ වෙන්නත් පුළුවන්. නමුත් ආස්වාදය වැදගත් නිසා ඒ සියළු අවදානම් සහ වියහියදම් කියන ආදීනවයන් අමතක කරනවා. මේ විදිහට වටිනවයි කියල හිතාගෙන ඉන්න සම්පත්වල ආස්වාද මාත්‍රයත්, ඒ වස්තු නිසා ඇතිවන මහා ආදීනවයත් නිතර සිහි කරනකොට ඒවාට තිබුණ ඡන්දරාගය නිවිල ගිහින් නිස්සරණයට පත් වෙනවා.

දුර බැහැර ගමන් නැති, එදිනෙදා ජීවිතය ගොවිතැන් බතකින් පිරිමහ ගන්නා ගැමියෙකුට ගමන් බිමන් සඳහා වාහනයක් නෑ. ආදියේ දුර බැහැර වන්දනා ගමන් පවා ගියේ දෙපයින්. ඒ නිසා ඔහුට වාහනයක් හේතුවෙන් ඇතිවන වියහියදම් හෝ අවධානමක් තිබුණෙ නෑ. අපි සමාජමය වශයෙන් එදිනෙදා ජීවිතයට උවමනා නොවන බොහෝ දේවල් ළංකර ගැනීම නිසා, දුර ගමන් සහ ඒ සඳහා නවීන පන්නයේ වාහන භාවිතා කරනවා. ජීවිත පැවැත්ම  සංකීර්ණ  කරගැනීම, සංතුස්සකෝච සුභරෝච (යහපත් දේ දැරීමෙන් හිත සතුටු වීම සහ එයින් සැහැල්ලූ වීම) කියන බුද්ධ දේශනාවට පටහැනි නිසයි මේ අනවශ්‍ය දුක් කරදර ගොඩගැහිල තියෙන්නේ. මේවායින් නිදහස් වෙන්න නම් බුදු බණ අනුව ජීවිතය සකස් කරගන්න ඕන. ඒ සඳහා ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරන්න ඕන. ඒක බොහොම දුර්ලභයි. සද්ධම්මෝ පරම දුර්ලභෝ කිව්වෙ ඒකයි. ඒ සඳහා කල්‍යාණ මිත්‍ර සම්පත්තිය ලැබිය යුතුයි. ගෞරවයෙන් ධර්මය ඇසිය යුතුයි. යථාර්ථවත්ව නුවණින් මෙනෙහි කරමින් යථා ධර්මානුධර්මයන්ට අනුව හැසිරිය යුතුයි. එතකොට තමයි ධර්මාවබෝධය ලැබෙන්නේ. එහෙම වුනොත් තමයි නියම ලෙස ධර්මශ්‍රවණය කළා වෙන්නේ. එහෙම නොකළොත් ඒක ශබ්දයකට සවන් දී සිටියා පමණයි, ධර්මශ්‍රවණය කළා වෙන්නෙ නෑ.

ධම්මානුධම්ම   පටිපදාවේ හැසිරෙනවා කියන්නේ මොකක්ද? අපි උපතින්ම ලෝක සම්මතයේ බෞද්ධ නිසා ලොකු වරප්‍රසාදයක් උප්පත්තියෙන්ම අපට ලැබිල තියෙනවා. බුදුන් වැඳීමේ චාරිත්‍රයක් අපි අතර තියෙනවා. බුදු හාමුදුරුවො මොන වගේ කෙනෙක්ද? ධර්මයේ ඇති වටිනාකම, වැදගත්කම මොකක්ද? සංඝයා වහන්සේලාගේ ගුණ මොනවාද? මේ මොනවත් හරි හැටි දන්නෙ නැතිව වුනත් කුඩා කාලයේ පටන්ම අපි බුදුන් වඳිනවා. ඒ ඇසුරෙන් සතුන් මැරීම… ආදී පව් නොකළ යුතු දේවල් බව අපි දැන ගන්නවා. දන් දීම, සිල් රැකීම, භාවනා කිරීම, බණ ඇසීම ආදිය කළ යුතු පින් රැස්වන දේවල් බවත්, බණ ඇසීමෙන් ගුණ යහපත් චරිතයක් ගොඩනගා ගන්න පුළුවන් බවත්, මේ ආදී ලෞකික වශයෙන් පින් රැස්වන හොඳ දේවල් කරන එක, පව් රැස්වන නරක දේවල් නොකරන එක ජීවිතයට යහපත සිදුවන දේවල් බවත් දැනගෙන, ඒ අනුව ජීවිතය ගෙන යෑමයි මූලික ධම්මානුධම්ම පටිපදාවේ හැසිරීම වන්නේ.

තමා උපමා කරගෙන, මට කවුරුවත් හිංසා පීඩා කරනවට මම කැමති නෑ, ඒ නිසා මමත් අන් අයට හිංසා පීඩා කරන්නෙ නෑ, මගේ කියල එක් රැස් කරගත් පණ ඇති පණ නැති කිසිවක් මගේ සන්තකයෙන් පැහැර ගන්නවට මම කැමති නෑ, ඒ නිසා මමත් අනුන් සතු දේවල් පැහැර ගන්නෙ නෑ… ආදී වශයෙන් පරලොවක් ඇතත් නැතත්, ස්වර්ගයක් හෝ අපායක් ඇතත් නැතත්, යුක්තිසහගත භාවය සලකා, නරක අසත් පුරුෂ දේ නොකර හොඳ සත් පුරුෂ දේවල් කරනවා. අවශ්‍ය අයෙකුට උදව්වක් උපකාරයක් හැකි පමණින් කරනවා. දුප්පත් අයගෙ දුක දැකල තමා සන්තක දෙයින් කොටසක් ඒ අයටත් දෙනවා. මේ විදිහට සමාජ සම්මතයන්ට ගරු කරමින් යහපත් ලෙස ජීවිතය ගෙන යාමත් මූලික ධම්මානුධම්ම පටිපදාවේ හැසිරීමක්. ශ්‍රී සද්ධර්මය අවබෝධයෙන් දහම් ඇස පහළ වුනාම නිවන වැටහෙන්න වෙනවා. එතකොට වැටහෙන නිවන පූර්ණ කරගන්න යම් ධර්මයක් ප්‍රධාන වෙනවද, ඒ සත්තිස් බෝධිපාක‍ෂික ධර්මත්, ඒ දහම් ගුණ වැඩීමට උපනිශ්‍රය වන සුචරිතය වන අනුධර්මත් දැනගෙන පිළිපදිනකොට නියම ධර්මානුධර්ම ප්‍රතිපදාව ලැබෙනවා.

බුදු දහමට අනුව ජීවත් වන අයට ලෝකයේ නිස්සාරත්වය අවබෝධ වෙන්න පරිසරය සකස් වීම ධර්මතාවයෙන්ම සිද්ධ වෙනවා. කළ්‍යාණ මිත්‍ර සම්පත්තිය ලබන්න කොහොම හරි යොමු වෙන්නෙත් ධර්මතාවයම ක්‍රියාත්මක වෙලයි. අපදාන පාලියේ සඳහන් වෙන පරිදි මේ ශාසනයේදී අරිහත්වයට පත් වෙච්ච උතුමන් ඒ තත්ත්වයන්ට පත් වුනේ කල්ප ගණනකට පෙර කරපු දහම් අවබෝධයකින් නොවෙයි, සම්මත සිරිත් පරිදි ත්‍රිවිධ රත්නයට කරපු වන්දනාමාන පූජා සත්කාරයන් මුල්කරගෙන නිවන් මග හමුවන්න ධර්මතාවය සකස් වීමෙනුයි. වැරදි පව්කම් කළාම ඒවාට විපාක දීම සඳහා පරිසරය සකස් වීම අවුරුදු සිය ගණනක් ගතවෙලා හරි සිදු වන්නේ ධර්මතාවය ක්‍රියාත්මක වීමෙනුයි කියල පහුගිය කළාපවලින් විස්තර කළා. මේක සමනන්තරය සකස්වීම වශයෙන් හඳුන්වනවා. අනන්තරය තමයි ඊට මූලික වූ පෙර කරන ලද පින හෝ පව. පිං කරන අයටත් ඒවාට විපාක දීම සඳහා පරිසරය සකස් වීම මේ විදිහට ධර්මතාවය ක්‍රියාත්මක වීමෙන් සිද්ධ වෙන්වා. ඒ අනුව කළ්‍යාණ මිත්‍ර සම්පත්තියත්, ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරන්නත් ලැබෙනවා. සමහර වෙලාවට තමාට ඉතාම ලෙන්ගතු අයෙකුගේ හදිසි බරපතල අසාධ්‍ය රෝගයක් නිසා ඔහුට උපකාර කරන්න මගක් සොයනකොට, ඔය අසනීපෙට මෙන්න මේ සෙත් ශාන්තිය කරන්න, ඒ සඳහා අහවල් ස්ථානය හොඳයි… ආදී උපදෙස් යම් යම් හිතවත් අයගෙන් ලැබෙනවා. යන්නෙ හිතවතාට උපකාර කරන්නයි. නමුත් තමන්ට කළ්‍යාණ මිත්‍ර සම්පත්තිය එතැනින් ලැබෙන්නත් පුළුවන්. ජීවිතයේ නිස්සාර බව හිතට දැනිල තිබුණ පුද්ගලයාට කළ්‍යාණ මිත්‍ර සම්පත්තියෙන් ශ්‍රී සද්ධර්මය අහන්න ලැබුණම අමෘතය ලැබුණ වගේ සතුටින් ශ්‍රවණය කරනවා. ඒ නිසා ඔහු චතුරාර්ය සත්‍යය, ලෝකයේ අනිච්ච, දුක්ඛ, අනත්ත ස්වභාවය මනා සේ අවබෝධ කරගෙන සසර දුකෙන් මිදෙන තැනට බැස ගන්නවා, සෝතාපන්න වෙනවා. සතර අපායෙන් නිදහස් වෙනවා. ගැඹුරු වූ ධර්මානුධර්ම පිළිවෙත වැඩී අරිහත්වයටත් පත් වෙනවා.

බුද්ධ ශාසනයෙන් බැහැර වූ අන්‍යයන්ට මෙබඳු ධර්මානුධර්ම ප්‍රතිපදාවක් නෑ. ඒ පින්වතුන් තමා පිළිගත් යම් ශාස්තෘවරයෙක් පැවසූ කුමකට හෝ විශ්වාසය තබාගෙන තමන්ගේ ගැලවුම්කරු ඒ ශාස්තෘයි කියල හිතාගෙන පින් පව් හොඳ නරක වශයෙන් කල්පනා නොකර, කියන්නන් වාලේ කටයුතු කරන පිරිසක් වෙනවා. ඒ අයට සිතීමේ නිදහස ඇහිරෙනවා.

බුදුපියාණන් වහන්සේ දිනක් සාරිපුත්ත මහරහතන් වහන්සේගෙන් මෙහෙම අහනවා. “සාරිපුත්ත සෝත සෝත කියනවා. සෝත කියන්නේ කුමක්ද?” එවිට සාරිපුත්ත මහරහතන් වහන්සේ මෙහෙම පිළිතුරු දෙනවා “භාග්‍යවතුන් වහන්ස සෝත නම් මේ අරි අටඟි මගමයි.” එනම් සෝතාපන්න කියන්නේ ආර්ය අෂ්ඨාංගික මගට පිළිපන් කියන එකයි. සැඩ පහරකට යම් කිසිවක් වැටුනොත් ඒ සැඩ පහර අනුව ඒක පා වෙලා යනවා. එසේ පාවී යාම සැඩ පහරේ ගති ලක‍ෂණයක්. සැඩ පහර යම් දිශාවකට ගලා යනවනම්, ඊට වැටුණු දෙයත් ඒ අතට පා වෙලා යනවා. බාහිර ලෝකයේ ඇති සැඩ පහරවල් ප්‍රඥාව යොමුකර උපක්‍රම යොදල ගලන දිශාව වෙනස් කරන්න පුළුවන්. නමුත් ආර්ය අෂ්ඨාංගික මාර්ගය නමැති සෝතය, නිවන කරා ගලා යාම කිසිවෙකුටත් වෙනස් කරන්න බෑ. එමනිසා යම් පුද්ගලයෙක් මේ සෝතාපත්ති මගට යොමු වුනා නම්, ඔහු නිවන කරා ඇදී යාම ධර්මතාවයක්.

ඔරුවක් දිය පහරකට වැටුනොත් ඒ දිය පහර ගලා යන වේගය අනුව ඔරුවත් පාවෙලා යනවා. දිය පහර අවසානයේ මුහුද දක්වාම යනවා. ඔරුව පැදගෙන ගියොත් ඉක්මනින් මුහුද කරා ළඟා වෙනවා. මේ වගේ සෝතාපන්න වූ අයෙක් නිවන කරා ඇදී යාම ධර්මතාවයක් වුනත්, ඒ සඳහා කොච්චර කාලයක් ගතවේද කියල කියන්න අමාරුයි. ධර්මය නමැති ඔරුව ප්‍රඥාව නමැති හබල යොදාගෙන මේ අරි අටඟි මගේ යනව නම් ඉක්මනින් නිවනට ළඟාවෙන්න පුළුවන්.

දැන් අපි දැනගත්තා රාගය, ලෝභය, ද්වේශය, මෝහය ආදිය ගිනි බව. සියලූ අකුසලයන්ට මුල් වන්නේ මේවායි. රාග, ද්වේශ, මෝහ ආදී අකුසල මූලයන් මනා සිහි කල්පනාවෙන් ඉඳල ක්‍රියාත්මක වෙන්න ඉඩ නොදී දුරු කරගත්ත නම්, දස අකුසලයෙන්ම දුරු වෙන්න පුළුවන්. එතකොට “සබ්බ පාපස්ස අකරණං…” ආදී වශයෙන් කියන සියලූ බුදුවරයන් වහන්සේලාගේ අනුශාසනාව ඉටුකළා වෙනවා. දස අකුසලයම එකක් සතර ආකාරය බැගින් හතලිස් ආකාරයක් වෙනවා. සතුන් මැරීම, මැරවීම, මැරීමට අනුබල දීම, මැරීම හොඳයි කියා වර්ණනා කිරීම කියන මේ සතර ආකාරයම ප්‍රාණඝාතයට අදාල අකුසල් වෙනවා. මේ විදියටම සොරකම් කිරීම, කාමයේ වරදවා හැසිරීම කියන කයින් සිදුවන අකුසල් වලින් වැළකීම කායික සංවරයයි. මුසාවාදය, කේලාම් කීම, පරුෂ වචන කීම, හිස් වචන කීම කියන වාචසික අකුසල් එකකට හතර බැගින් දහසයක් තියෙනවා. ඒවායින් වැලකීම වාචසික සංවරයයි. දැඩි ලෝභය, ව්‍යාපාදය, මිච්චා දිට්ඨිය කියන මනසින් කරන අකුසල් එකකට හතර බැගින් දොලහයි. ඒවායින් වැලකීම මානසික සංවරයයි. මෙසේ දස අකුසලයෙන් වෙන් වෙලා සංවර වීම තුළින් වැඩෙන්නේ කුසල සීලයයි. “කුසල සීලය වඩන්නාට අවිප්‍රතිසාරය (කැළඹෙන්නෙ නෑ, විසිරෙන්නෙ නෑ) වැඩීම ධර්මතාවයක්. අවිප්‍රතිසාරයෙන් ප්‍රමෝදයත් (මෘදු බවට පත්වීම), ප්‍රමෝදයෙන්  ප්‍රීතියත්,  ප්‍රීතියෙන් පස්සද්ධියත් (සැහැල්ලූව), පස්සද්ධියෙන් සුඛයත්, සුඛයෙන් සමාධියත්, සමාධියෙන් යථාභූත ඥාන දර්ශනයත්, යථාභූත ඥාන දර්ශනයෙන් නිර්වේදයත් (විඳීමෙන් නික්මීම), නිර්වේදයෙන් විරාගයත්, විරාගයෙන් විමුක්ති ඥාන දර්ශනයත් අනුසස් කොට ඇත්තේය. කුසල සීලය ඇතියහුට  ධර්මයෝම  ධර්මයෝ පවත්වන්නාහ.  පුරන්නාහ.  එය ධර්මතාවයකි. චේතනාවෙන් කරණී නැත” යනුවෙන් අං:නි:(6) කාණ්ඩයේ 586 පිටුවේ එන නචේතනා කරණීය සූත්‍රයේ සඳහන් වෙනවා. මේ විදිහට අප කළ යුතු වන්නේ කුසල සීලය සම්පාදනය කර ගැනීමයි. අනෙක් කරුණු ධර්මයෝම ධර්මයෝ පුරවනවා. අපිට අමුතුවෙන් කරන්න දෙයක් නෑ.

වහරක අභයරතනාලංකාර හිමිපාණන් විසින් දේශිත සැඟවුණ දහම් කරුණු ඇසුරින් සකස් කළේ :
ඩබ්. ඒ. තිළිණවතී (විශ්‍රාමික මහජන බැංකු නිලධාරිනී)
කඩවත

ධර්ම දානය උතුම්ම දානයයි. අනෙක් අය සමග බෙදා ගනිමු.

2 thoughts on “රාග, ද්වේශ, මෝහයන්ගෙන් නැගෙන මහා ගින්න දැක නිවා ගනිමු…

  1. ආචාර්ය. නන්දදාස නාරායන

    බුදුදහමේ ආමිස පුජාවලට මුල් තැනක් දුන් පින්වත් ඥාතිනන් දෙදෙනෙක් සිටි. ඔව්න් අඹුසැමි යුවලකි. දනුමෙන්ද,ධනයෙන්ද කීර්තියෙන්ද අඩුවක් නැත.එහෙත් ළමයෙක් නැතිකමින් කියන ඕනෑම දෙයක් කිරීමට මොවුන් දෙදෙනා සුදානම්ය. මෙහිදී මොවුන්ගේ අඩුපාඩුව දුටු අන්‍ය ආගම ට හරවන පිරිසක් විසින් ඔවුන්ගේ දුර්වල කම දෑන සර්වබල දාරි දෙවියෙක් හඳුන්වා දී දැන් අවුරුදු තුනක් පමණ වුවත් ළමයෙක් නම් ලැබුනේ නැත. මේ පින්වත් දෙදෙනා දැන් උග්‍ර නැවත උත්පතියක් ලද ආගමක් වැළඳගත් පෙරලුනුපිට හොඳය කියා ගන්න තත්වයට පෙරලී සිටිති. ඔවුන් කියන්නේ බොරු බුද්ධකම් කාරයෝට වැඩ ඔවුන් ප්‍රතිපත්ති ගරුකබවය.
    අවසානයේ ළමයෙක් ලැබුනේද නැත. කපටි ආදරය,ආරක්ෂාව,හා විශ්වාසය නම් ඔවුන්ට හොඳින් ලබා ඇතිබව පෙනේ.නියම බුදුදහම නොදත් කමින් මේ මිත්යදුෂ්ටික භාවයට පත්ව සිටීම මට මහත් වේදනා ගෙනදේ. මොවුන් දෙදෙනා සමයක්ධ්‍රුෂ්ටික කරන්නේ කෙසේද?

    Reply
    • kosala jayathilaka

      One day i also met such kind of incident.some one come to me and tried to describe me about their god concept.I respect him very well and listen to his all story very frankly.then i questioned about their god and asked him why does that god created us.why that god put us into this kind of difficult life.and described the life difficulty through the concept of aniccha,Dukka and anaththa….then i feel understood the reality of life but he doesn’t wont to accept if boz of money and other benefits. But i feel he got some thing in to his life.then i feel happy though he doesn’t wont to be a Buddhist his mind will get the reality of life,I think that is enough.i think u also can try this.but don’t tell the words of anichcha dukka anaththa.but try to give the real meaning of it in to their mind….

      Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *