ආත්මයේ ස්වභාවය සෙවීම නිරර්ථක බවත්, සොයනවා නම් චතුරාර්ය සත්‍යය සෙවීමම අර්ථවත් බවත්, සං.නි. 5 (2) 266 පිටුවේ එන චින්තා සූත‍්‍රයේ හා විග්ගාහික කතා සූත‍්‍රයේ දක්වා තියෙනවා. එසේම එක සත්‍යයක් දුටුවිට ඉතිරි සත්‍ය තුනම එවෙලේම දකින බවත්, එම පොතේම 292 පිටුවේ එන ගවම්පති සූත‍්‍රයේ සඳහන්ව තියෙනවා. මේ නිසා නොතේරෙන දහම් පිළිබඳව මතයක, දෘෂ්ඨියක එල්බගෙන විශ්වාස නොකර, ඉවතද නොදමා තමන්ට තේරෙන සත්‍යය තුළ යනවා නම් නියම කාලයේදී සත්‍යය යථාර්ථය වැටහී නිවී සැනසීම උදාවෙනවා.

හේතු යුක්ති සහිත වූ, වටහා ගත හැකි වූ මේ දහමවත් අනුව හික්මීම පූර්ණය නොකරන අය මීට වඩා මහත් වූ ගැඹුරු දහම් තෝරන්න   හෝ ගවේශණය කරන්න යන්නේ නම්, ලෞකික පරීක්‍ෂණ මනසකින්, හේතු යුක්ති නොදකින මනසකින් අදහස්වල දෘෂ්ඨිගතිකව බැඳී, මෙයම හරි අනිත්වා වැරදි යන විකල්ප මතයකට වැටෙන්න හේතු වෙනවා. එබැවින් යමක් සත්‍යයයි හොඳින් වැටහේ නම්, එය සහනයට, නිවීමට, දුකින් මිදීමට හේතු වෙනවා නම් ඒ මග යා යුතුයි. එවිට සැකයක් ඇතිවෙන්නෙ නෑ. එසේ තමන්ට වැටහෙන මගට වැටුන විට ඉදිරියට කළ යුත්තක් ඇත්ද එයත් හොඳින් වැටහෙන්න පටන් ගන්නවා.

එසේනම් චතුරාර්ය සත්‍යය සෙවිය යුත්තේ කෙසේද?

සියලූ සංස්කාරයෝ අනිච්ඡයි (කැමති සේ නොපවතින බව)

කියා යම් කාලයක ප‍්‍රඥාවෙන් දකී ද, එවිට දුකෙහි කළකිරෙනවා. ඒ තමයි නිවනට මාර්ගය. සියලූ සංස්කාරයෝ දුකයි කියා යම් කලක නුවණින් දකීද එවිට දුකෙහි කළ කිරෙනවා. එයම නිවනට මාර්ගයයි. සියලූ සංස්කාරයෝ අනත්ථයි (අනාථ බව, හරයක් නැති බව) කියා යම් කලක නුවණින් දකීද එවිට දුකෙහි කලකිරෙනවා. එයම නිවනට මාර්ගයයි.

මාගේ ඇවෑමෙන් මේ ධර්මයත් විනයත් යුෂ්මතුන්ට ශාස්තෘ වේ. එබැවින් ධර්මය ගරු කොට, ධර්මය ගුරු කොට, ධර්මය පිළිසරණ කොට අප‍්‍රමාදව වසව්. එවිට නිවන් දකී

මේ බුද්ධ වචනයයි. (දී:නි:2, 158 පිටුව, මහා පරිනිබ්බාන සූත‍්‍රය) මෙහිදී දුකෙහි කලකිරෙන බව පෙන්වා තියෙනවා. මේ මොන දුකද? සත්වයෝ දුක් වේදනා යැයි සම්මත කර ගත් කවුරුත් හඳුනන දුකක් තියෙනවා. ඒ දුක ලෝකයේ  ඕනෑම ආගමක් දහමක් අදහන, නොඅදහන සියලූම දෙනා දන්නා කාරණයක්. ඒ දුකට නම් කවුරුත් අකමැතියි. හැබැයි එම දුක් උපදවන හේතුවක් ඇත්ද සත්වයෝ ඒකට නම් කැමතියි. යම් දිනක එසේ කැමති වූ ඒ ප‍්‍රිය මධුර ස්වභාවයේ අනිච්ඡු බව, අනත්ථබව වැටහෙන්නේද එවිට එම ප‍්‍රිය මධුර ස්වභාවය ඇසුරු කිරීම නිශ්පල බව වැටහෙනවා. වටිනාකමක් නැති නිෂ්පල දේ පිළිබඳ ඇසුරු කිරීමක් ඇත්ද එයත් වෙහෙසත් දුකක් බව වැටහෙනවා. එවිට සැප වේදනා දුක් ලෙසත්, දුක් වේදනා උල් ලෙසත්, මධ්‍යම වේදනා අනිච්ඡු ලෙසත් වැටහෙමින් දුක පිරිසිඳ (ප‍්‍රියභාවය සිඳ) දැක ගන්නවා.

මෙසේ නොවන ලෝක සත්වයන් අතර, මනුෂ්‍යයන් දෙව්ලොව සැපතද දුකක්ම බව පිරිසිඳ දැන ඇති බව සමහර විටක පවසනවා. නමුත් ඉන් සමහරෙක් ගෙදරට කුෂන් පුටු සැට් එකක් ගේන්න මුදල් නැතිව ලතවෙනවා. මෙබඳු අය අතරේ සමහරෙක්, උවමනාවකට ළඟ ගෙදරකට පුටුවක් ගෙනියන්න ආවොත්, කඩා දමතියි, ජරා කරතියි සිතා ඒකවත් නොදී ඉන්නවා. දැන් තම තමන් ළඟ මෙබඳු ගති ඇත්දැයි කල්පනා කර බැලිය යුතුයි.

මුහුදු වතුර ලුණු රස බව දැන ගන්න ඇඟිල්ල තෙමා බින්දුවක් දෙකක්   කටගා   බැලීමත් සෑහෙනවා. ඉන් එහාට මුහුදු වතුර ලුණු රස බව දැනගන්න අමුතු යමක් කරන්න  ඕන නෑ. අපි පානය කරන තේ කෝප්පයක් ගැන හිතමු. රසය බලන්න කරන්නේ  බිංදුවක් දෙකක් දිව ගා බැලීමයි. ඉතිරි තේ ප‍්‍රමාණය දිව ගා නොබැලූවාට එහි රසය, බිඳක් දිව ගෑ පමණින්ම දැන ගන්නවා. රසය දැනීමට මුළු තේ කෝප්පයම පානය කළ යුතු යැයි කීම මුලාවක්. ලෝක විෂය අචින්ත්‍ය (අසීමිත) බව බුදුරජාණන් වහන්සේ සර්වඥතා ඤාණයෙන් දැන මහා සාගරය වැනි පට්ඨාන ප‍්‍රකරණය දේශනා කළේ බිඳක් ගෙන කට ගා රස බලන අයුරු පෙන්වා වදාරමිනි. කට ගා බලන බිඳක් මෙන් පටිච්ච සමුප්පාද අංග 12 ක්ද දේශණා කර තියෙනවා. මෙයින් බිඳක් ලෙස එක කොටසක් තුළින්ද අරි අට`ගිමග පෙන්වා තියෙනවා. දැන් එහෙනම් පටිච්ච සමුප්පාදය බුද්ධ වචනයක් බව සොයා ගන්නේ කොහොමද?

එක් අවස්ථාවකදී බුදුන් වහන්සේ භික්ෂූන් වහන්සේලා පන්සියයකට මෙබඳු දේශණාවක් කළා.

මහණෙනි, අවිද්‍යා ප‍්‍රත්‍යයෙන් සංඛාර වේ, අවිද්‍යා නිරෝධයෙන් සංඛාර නිරෝධ වේ යන දහමක් මම නුඹලාට දේශනා කළා. නුඹලා එය පිළිගන්නේ මට තියෙන ගරු බියකටද? මා දෙසූ නිසාද? නැත්නම් ප‍්‍රශ්න කළොත් මා වෙහෙසට පත් වෙයි කියා නොඅසන්නේද? එසේ නොසිටිය යුතුයි.

මහණෙනි, සංඛාර ප‍්‍රත්‍යයෙන් විඤ්ඤාණ වේ, සංඛාර නිරෝධයෙන් විඤ්ඤාණ නිරෝධ වේ යැයි දහමක් මම නුඹලාට දේශනා කළා.  නුඹලා  එය පිළිගන්නේ මා දෙසූ නිසාද? මට තියෙන ගරු බියකටද? නැත්නම් මා වෙහෙසට පත් වෙයි කියා නිහඬ වෙනවාද? එසේ නොසිටිය යුතුයි.

මහණෙනි,   , විඤ්ඤාණ ප‍්‍රත්‍යයෙන් නාම රූප වේ, විඤ්ඤාණ නිරෝධයෙන් නාම රූප නිරෝධ වේ යයි දහමක් මම දේශනා කළා. නුඹලා එය පිළිගන්නේ මා දෙසූ නිසාද? මට ඇති ගරු බියකටද? නැත්නම් මා වෙහෙසට පත් වෙයි කියා නිහඬ වෙනවාද? එසේ නොසිටිය යුතුයි.

මහණෙනි, නාමරූප ප‍්‍රත්‍යයෙන් සලායතන වේ, නාමරූප නිරෝධයෙන් සලායතන නිරෝධ වේ යනුවෙන් දහමක් මම නුඹලාට දේශනා කළා. නුඹලා එය පිළිගන්නේ මා දෙසූ නිසාද? මට ඇති ගරු බියකටද? නැත්නම් මා වෙහෙසට පත් වෙයි කියා නිහඬ වෙනවාද? එසේ නොසිටිය යුතුයි.

මහණෙනි, සලායතන ප‍්‍රත්‍යයෙන් ස්පර්ශ වේ, සලායතන නිරෝධයෙන් ස්පර්ශ නිරෝධ වේ යනුවෙන් දහමක් මම නුඹලාට දේශනා කළා. එ් දහම නුඹලා පිළිගන්නේ මා දෙසූ නිසාද? මට තියෙන ගරු බියකටද? නැත්නම් මා වෙහෙසට පත් වෙයි කියා නිහඬ වෙනවාද? එසේ නොසිටිය යුතුයි.

මහණෙනි, ස්පර්ශ ප‍්‍රත්‍යයෙන් වේදනා වේ, ස්පර්ශ නිරෝධයෙන් වේදනා නිරෝධ වේ යනුවෙන් දහමක් මම නුඹලාට දේශනා කළා. එ් දහම නුඹලා පිළිගන්නේ මා දෙසූ නිසාද? මට තියෙන ගරු බියකටද? නැත්නම් මා වෙහෙසට පත් වෙයි කියා නිහඬ වෙනවාද? එසේ නොසිටිය යුතුයි.

මහණෙනි, වේදනා ප‍්‍රත්‍යයෙන් තණ්හා වේ, වේදනා නිරෝධයෙන් තණ්හා නිරෝධ වේ යනුවෙන් දහමක් මා දේශනා කළා. නුඹලා එය පිළිගන්නේ මා දෙසූ නිසාද? මට තියෙන ගරු බියකටද? නැත්නම් මා වෙහෙසට පත් වෙයි කියා නිහඬ වෙනවාද? එසේ නොසිටිය යුතුයි.

මහණෙනි, තණ්හා ප‍්‍රත්‍යයෙන් උපාදාන වේ, තණ්හා නිරෝධයෙන් උපාදාන නිරෝධ වේ යනුවෙන් දහමක් මා දේශනා කළා. නුඹලා එය පිළිගන්නේ මා දෙසූ නිසාද? මට තියෙන ගරු බියකටද? නැත්නම් මා වෙහෙසට පත් වෙයි කියා නිහඬ වෙනවාද? එසේ නොසිටිය යුතුයි.

මහණෙනි, උපාදාන ප‍්‍රත්‍යයෙන් භව වේ, උපාදාන නිරෝධයෙන් භව නිරෝධ වේ යනුවෙන් දහමක් මම නුඹලාට දේශනා කළා. නුඹලා එය පිළිගන්නේ මා දෙසූ නිසාද? මට තියෙන ගරු බියකටද? නැත්නම් මා වෙහෙසට පත් වෙයි කියා නිහඬ වෙනවාද? එසේ නොසිටිය යුතුයි.

මහණෙනි, භව ප‍්‍රත්‍යයෙන් ජාති වේ, භව නිරෝධයෙන් ජාති නිරෝධ වේ යනුවෙන් දහමක් මම නුඹලාට දේශනා කළා. නුඹලා එය පිළිගන්නේ මා දෙසූ නිසාද? මට තියෙන ගරු බියකටද? නැත්නම් මා වෙහෙසට පත් වෙයි කියා නිහඬ වෙනවාද? එසේ නොසිටිය යුතුයි.

මහණෙනි,   ජාති ප‍්‍රත්‍යයෙන් ජරා, මරණ වේ. ජාති නිරෝධයෙන් ජරා, මරණ නිරෝධ වේ යනුවෙන් දහමක් මම නුඹලාට දේශනා කළා. නුඹලා එය පිළිගන්නේ මා දෙසූ නිසාද? මට ඇති ගරු බියකටද? නැත්නම් මා වෙහෙසට පත් වෙයි කියා නිහඬ වෙනවාද? එසේ නොසිටිය යුතුයි.

මහණෙනි, පළමුවත්, දෙවනුවත්, තුන්වනුවත් මම මෙසේ අසමි. මේ දහම් පිළිගන්නේ මා දේශනා කළ නිසාද? මට ඇති ගරු බියටද? නැත්නම් මා වෙහෙසට පත් වෙයි සිතා නිහඬ වෙනවාද? එසේ නොසිටිය යුතුයි.

ස්වාමීනි, ඒ දහම් එසේම බව අපට වැටහේ. එ් නිසයි නිහඬ වන්නේ යනුවෙන් භික්‍ෂූන් වහන්සේලා පිලිතුරු දුන්නා. එවිට ස්වාමීනි, මේ පන්සීයක් භික්‍ෂූන්ට දහම්හි සැක නැතැයි ආනන්ද හිමි කීය. එවිට බුදුන් වහන්සේ මෙසේ දේශනා කළා. ආනන්ද ඔබ විශ්වාසයෙන් පවසයි. මා කියන්නේ ඤාණයෙනි. මේ භික්‍ෂූන් අතර අඩුම අවබෝධය ඇති කෙනාද සතර අපායෙන් මිදුනු සෝතාපන්නයෙකි. ඊට හේතුව මේ පටිච්ච සමුප්පාද ධර්මයෙහි සැක නැති වැටහීමක් ඒ සැමටම ඇති බැවිනි.

මෙහිදී දැනගත යුතු වැදගත් කරුණක් තියෙනවා. එනම්, මේ භික්ෂුන් වහන්සේලා ලෞකික ප‍්‍රථම ධ්‍යානය ලබා භාවනා කර දැහැන් ලබා සිටියාද? නැතහොත් නුවණට වැටහුණු මේ දහම දැහැනකින් තොරව දැන ගත්තාද? යම් දහමක් සත්‍යද, නිවන් මගද ඒ දහම දහම ලෙස නොවැටහුනා නම්, දහම් අරමුණට නොනැමුන සිතකින් එම අරමුණෙහි නොහැසිරුණු සිතකින්, දහම් ප‍්‍රීතියට, දහම් සුවයට නොපන් සිතකින්, දහම් අරමුනේ එකඟ නොවු සිතකින් දහම් වටහා ගන්න පුළුවන්ද? නොහැකිමයි. එසේ නම් දහම් අරමුණම විතර්ක කරන, විචාර කරන, විවේකයෙන් ලත් ප‍්‍රීතිය, සුඛය ඇතිව, එහිම එකඟ වූ සිත ආර්ය වූ ප‍්‍රථම ධ්‍යානයයි. එසේ සිට නිවන් ප‍්‍රත්‍යක්‍ෂ කරනවා. හැබැයි ලෞකික දැහැනකින් නොවෙයි. ලෞකික දැහැනට ලෞකික අරමුණක්මයි ගෝචර වෙන්නේ. එයින් පටිච්ච සමුප්පාද දහම් රටාව ගන්න බැරි බව පේනවා.

පළමුව  ධර්ම ඤාණය පහළ විය යුතුයි. ඵල ලබන්නේ පසුවයි. ධර්ම ඤාණය පහළ නොවේනම්, දහම් ඵලය ලබන්න බෑ. ඤාණය පළමුව පහළ වී ඵලය පසුව පහළවේ යැයි කී විට ඒ මොහොතේම විපාක නැද්ද? එසේනම් පසුව ඵල ලබයි කීවේ ඇයිද යන පැනය පැන නගින්න පුළුවන්. දහම් මග ශ‍්‍රවණය කර දහම් ඇස පහළ වූ විට හේතු ඵල දහම් මග යථා පරිදි වැටහෙනවා. ශ‍්‍රවණය කිරීම, දරා ගැනීම එනවිට දහම් ඇස පහළ වීම ඵලයයි. එතැන් පටන් නිවන ප‍්‍රත්‍යක්‍ෂ කිරීමට   පටන්ගෙන රහත්වන තුරුම සංසිඳීමේ සුවයත්,   ප‍්‍රකාරයන් වැටහීමත්,   අවිද්‍යාව දුරුවීමත්, නිච්ඡ, සුඛ, අත්ථ වශයෙන් තිබූ මෝහයන් දුරුවෙමින්, විද්‍යාව පහළ වෙමින්  ප‍්‍රඥාලෝකය පහළවීමත් සිදුවෙනවා. අනුක‍්‍රමයෙන් වැඩෙන මේ නුවණ, ප‍්‍රඥාව නිසා විශේෂ අවස්ථා 4 ක් සම්පූර්ණ කරමින් ඵලය පූර්ණ වෙනවා. පසුව ඵල ලබයි කිව්වේ මෙලෙසයි.

සෝතාපන්න  මාර්ගය කෙළවර  සෝතාපන්න ඵලයයි.  ඒ  සඳහා ශ‍්‍රවණයෙන් පැමිණිය යුතුයි. ඒ ඇයි? පටිච්ච සමුප්පාද ධර්මචක‍්‍රය පළමුව අවබෝධ කර ලොවට විද්‍යමාන කරන්න නම් තුන්ලෝකාග‍්‍ර වූ ලොව්තුරා සම්මා සම්බුද්ධත්වයට පැමිණි උතුමෙක් සිටිය යුතුයි. මින් පිටස්තර දෙවියන්, මරුන්, බඹුන්, මිනිසුන්, ශ‍්‍රමණ බ‍්‍රාහ්මණයන් අතර කිසිවෙක් ඒ සඳහා සමත් වෙන්නෙ නෑ. මෙහෙම කියන කොට පොතපතින් බැලූවොත්, නොඇසුවත් ඇසුවා වගෙයි, කියන මතයක් ගත්තා නම් ඒ ගැන තර්ක කර තමන්ගේ තීරණවලට නොබැසීම හොඳයි. කියවලත් බලන්න. දන්න කෙනෙකුගෙන් ශ‍්‍රවණය කරලත් බලන්න. මේ දෙකම ඉතා හොඳයි. කොහොම කළත් වැටහෙන්න වුනානම්, අත්හැරෙන, මිදෙන, නොඇලෙන නිවන ප‍්‍රත්‍යක්‍ෂ වුනානම් මග හරිය. දැන් මේ ගැනත් සිතා බලන්න.

අරූපාවචර දැහැන් ලබා සිටින කෙනෙක් බණ අසා සෝවාන් වුනා නම් ඒ තත්ත්වයෙන් චුත වුනොත් අරූපාවචර බඹ ලොව ඉපදී විදර්ශනා වඩා එහිදීම රහත් ඵලයටද පත්වෙන්න හැකි බවත්, එහෙත් කන් නොමැති නිසා අරූපාවචර බඹ ලොව කෙනෙක් එහි සිට සෝතාපන්න නොවන බවත් ධර්මයේ පෙන්වා තියෙනවා. මේ නිසා අපට හිතට එන පලියට තීරණ නොගෙන නියම දහම් රටාවම සිතා බලා ඒ පිළිබඳව නිවැරදි තීරණය ගත යුතුයි.

චුල්ල සෝතාපන්න කියා කෙනෙක් ගැනත් දහමේ සඳහන් වෙනවා. එනම් දහම් මග ඉතා හොඳට ආර්ය මාර්ග නුවණින් දැනගෙන අනුලෝම නම් වූ නුවණ වැඩෙන තුරුත් වැටහුනු පුද්ගලයායි. මෙබඳු කෙනෙක් වුනත් අරූපාචර දැහැනක් ලබා සිටියා නම් දහම් සංකල්පනා බඹලොවදීත් පහළ කරන්න පුළුවන්. නමුත් තනිව කොතෙක් කල්පනා කළත් සෝතාපන්න ඵලයට පත්වෙන්න බෑ. ඒ සඳහා පරතෝඝෝෂක ප‍්‍රත්‍යය (වෙනත් මගඵල ලත් කල්‍යාණ මිත‍්‍රයකු විසින් නගන හඬ) නම් වූ ශ‍්‍රවණයක් කළ යුතුමයි.

කුක්කුට මිත්ත නම් මස් වැද්දෙක් බුදුන්වහන්සේ වැඩ සිටි කාලයේ සිටි බවත්, ඉපදී හත් අවුරුද්දෙන් සෝවාන් වී සිටි සිටු කුමරියක් එම මස් වැද්දා දැක, ඇති වූ සෙනෙහසින් බැඳී සිටුමාළිගය, සිටු සම්පත්, දෙමව්පියන් ආදී සියල්ල අතහැර දමා දාසියකගේ වෙස්ගෙන මස් වැද්දා සමග පැනගිය බවත් දහමේ සඳහන් වෙනවා.

එසේම විසාකා මහා උපාසිකාවත් හත් වසරෙන් සෝතාපන්න වූ කෙනෙක් බව දහමේ සඳහන් වෙනවා. එබඳු වූ විසාකාව තම මිනිබිරියක් මිය ගිය ශෝකයට,  තෙත්  වූ හිසකෙස් සහිතව, තෙත් වු වස්ත‍්‍ර සහිතව (එකල පැවති සාම්ප‍්‍රදායක් අනුව) එම අවමංගල කටයුතු නිමවා එන අතරතුර, ශෝකය තුනී කර ගන්නා අදහසින් බුදුන් වහන්සේ බැහැ දැකීමට දෙව්රම් වෙහෙරට ගොස් උන්වහන්සේට වැඳ සිටි බවත්, උන්වහන්සේගේ ප‍්‍රශ්ණයට පිළිතුරු දෙමින් තමන්ගේ මිනිබිරියක් නැති වූ ශෝකයට එය තුනී කරගැනීමේ අදහසින් මෙසේ අවේලාවේ පැමිණි බවත් කියා සිටියා. එවිට බුදුන් වහන්සේ ඇයට සැනසීමට ධර්ම දේශනා කළ බවත් දහමේ සඳහන් වෙනවා.

දැන් මෙබඳු දෙපොලක් අද සිටියා නම් ගන්නා තීරණය මොකක්ද? ආර්ය ගුණ ඇති කෙනෙකුට, තම හිතු මනාපෙට අනුව තීරණවලට බසිමින් අපවාද කළොත්

නොදැන නොවිමසා නොපැහැදිය යුතු තැන පැහැදීම, පැහැදිය යුතු තැන නොපැහැදීම, අගුණ කිව යුත්තන්ගේ ගුණකීම, ගුණ කිව යුත්තන්ගේ අගුණ කීම හේතුකොට ගෙන ආර්ය උපවාදයටද ලක්විය හැකිය

යන බුද්ධ දේශනාව අනුව භයානක ප‍්‍රතිඵල උදාවෙන්නත් පුළුවන්. එහෙම දෙයක් සිදුවුනොත් උපවාදාවරණයට වැටීමෙන් දහම් මග නොවැඞීමටත්, මරණින් මතු අපාගත වීමටත් හේතුවන බව තේරුම් ගත යුතුයි. උපවාද කරගත්තොත් කමා කර ගන්නා තුරු එම භවයෙහි ආර්ය අෂ්ඨාංගික මාර්ගය හා පටිච්ච සමුප්පාද දහම් නුවණ නොවැඩෙන බවත් දැනගත යුතුයි.

මේ නිසා ප‍්‍රවේසම් විය යුතුයි. පුද්ගලිකව අනුන් විවේචනය නොකර

මෙබඳු හේතුවකින් මෙබඳු ඵල ලැබෙන බව පෙනේ, මෙබඳු හේතු නැති තැන මෙබඳු ඵල ඇති වන බව නොපෙනේ

යන දහම් දේශනා න්‍යාය අනුගමනය කළ යුතුයි. ඒවාගේම විමුක්තියට සෑහෙන පරිදි දේශනා කර ඇති දහම් ගුරුවරයා වන පටිච්ච සමුප්පාද දහම මගින් චතුරාර්ය සත්‍යය වටහා ගන්නා මගට වඩා අතිරේකව, සත්ව විෂය, ලෝක විෂය… ආදිය ගැන හිතන්න ගියොත් දහමේ මුවාවෙන්  තමා  වෙතට  එන උපක්ලේෂයන් නැගී කල්පනා ලොවක, තර්ක විතර්ක ලොවක තනිවී භවයටම ඇද වැටීමට හේතුවිය හැකි නිසා ඒ සියල්ලම දැන ගත් දවසට, දැනීම පූර්ණ කරගත් දවසට හිතෙන සත්‍යය හේතුඵල වැටහෙන හැටියට ප‍්‍රකාශ කරන්න හිතා ගැනීම නම් නුවණට හුරුයි.

සදහම් සමුදුරකට උපමා තියෙනවා. බිඳක් ගෙන කට ගා රස බලනවා නම්, එයින් රසය දැනගන්නවා. ඒ සඳහා මුහුදම බොන්න හිතුවොත්, මුහුදම නොබිව්වොත් රස දැනගැනීමට නොහැකි යැයි සිතුවොත් ඒකත් මුලාවක්. උදාහරණයක් ලෙස වේදනාව ගනිමු. වේදනාව විස්තර කරන්න ගිහින්,

වේදනා කියන්නේ  රූප බිඳී හටගන්නා කොටස්ය. රූප බිඳී ගොස් හටගන්නා තේජෝ ශක්තියක විශේෂ අවස්ථාවකි. එම වේදනාවද මොහොතින් බිඳේ. එවිට ඊටත් වඩා අති සියුම් ශක්තියකි…

ආදී වශයෙන් විස්තරයක් කළා යැයි සිතමු.

මෙහෙම හිතන්න ගියොත් සිතා නිමක් දකින්නේ කොතැනින්ද? කවදාද? ශක්ති බවට පත් පරමාණු මූල, යළි ද්‍රව්‍ය බවට පත්වීමත්, යළි ශක්ති බවට පත්වීමත් සිද්ධ වෙනවා. සිතිවිලිවල අන්තිම ශූක්‍ෂමය කොතැනද? කොතැනදී ආපසු පරිවර්තනයට පටන් ගනීද? එවිට එක්තරා සීමාවකින් එහාට මතක සටහන් නොතිබිය යුතුයි නේද? බුදුරජාණන්වහන්සේ අනන්ත අතීතය සිහි කරන විට අනන්ත වූ විශ්වයේ රූප ධාතු බිඳී ගොස් ඒවායින් සෑදුනු දේ විනාශ වූ කාල වකවානුත්, ඒවා නැවත හට ගන්න හැටිත් පෙන්වා දී තියෙනවා. අභිඤ්ඤාලාභී රහතන් වහන්සේලාත් මෙසේ අනන්ත කල්ප සිහි කරනවා. එසේ සිහි කරන්න පුළුවන් වන්නේ නොදිරන නාම ගෝත‍්‍ර නිසයි. (නාම ගොත්තං නජීරතී කිව්වේ මේ නිසයි) නාම ගෝත‍්‍ර නොදිරුවත් ඇසුරු කර ලබන්න සාරත්වයක් නැති නිසා අනත්ථ බව හෙවත්

සබ්බේ ධම්මා අනත්ථාතී

යනුවෙන් දේශණා කර තියෙනවා.

විඤ්ඤාණ ධාතු නම් වූ මූල ධාතුවක්ද ආපෝ, තේජෝ, වායෝ, පඨවි ආදී ධාතු වගේම ඇති බව දේශණා කර තිබියදීත්, අනාවරණ ඥානයෙන් දේශණා කළ දහම් මග බිඳිමින් හිතට ආ අදහසක් යමෙක් ප‍්‍රත්‍යක්‍ෂ කළා යැයි පැවසුවොත් එය මුලාවක් බවත්, වැඩි කරුණු දැන ගැනීමට අවශ්‍ය නම් සැක හැර දැන ගැනීමට අවශ්‍ය කරුණු බුද්ධ දේශනාවේ ඇති බවත් දැනගත යුතුයි.

බුදුන් වහන්සේ අපට දුක නැති කර ගන්නට දහම් දේශනා කළේ ලොව කිසිවෙකුට දකින්න බැරි මහා ලෝක විෂය නොදැන නොව, දැනගෙන ඒවා නිෂ්ඵල ප‍්‍රමාදයන් බවත්, භවයට හේතු වන හිස් පරීක්‍ෂණ බවත්, මුලාවට පත්ව පිස්සන් මෙන් හොයන මෝඩ ක‍්‍රියාවක් බවත් වටහා ගත් නිසයි.

අතේ ඇති කොළ කැලෑවේ ඇති කොළ සමග සංසන්දන ය කර උපමා කරමින් සියල්ලෙන් ගත යුතු සාරය අතමිට මෙල වූ කොළ ටික මෙන් යැයි දේශණා කර තිබියදීත්, ඒ බව නොදැන කරුණු නොවැටහෙන මුලා වූ අය ලෝක පර්යේෂණවල නියැලෙනවා. ඒ සඳහා ජීවිත කාලයම ගත කරමින් සෙවීමේ බලාපොරොත්තු නිසාම අනුරූප වූ නාම රූප පරිහරණය අත් නොහැර, ඒ ඒ හේතු ඵල ලෙස සලායතන, ස්පර්ශ, වේදනා, තණ්හා, උපාදාන, භව, ජාති… ලබනවා. නමුත් පරීක්‍ෂණ නිම නොවී ඇස, කන, නාසය, දිව, ශරීරය හා ඒවායේ අරමුණු ගිලගැනීමට බලාපොරොත්තුවෙන් සිත් වූ මුලයට හිමිකම් කියනවා.

මේ විදියට ජාතිය ලබා ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්, දොම්නස්, උපායාස කියන සියලූ දුක් කඳ ඉදිරියට කෙළවරක් නැතිව එනවා. මේ අචින්ත්‍ය වූ ලෝක පර්යේෂණ පටන් ගත්තේ කවදාද? ඒවායින් අද වන විට කොපමණ දත්තයන් සත්‍ය ලෙස එක් කරගෙන ඇත්ද? එසේ එක්කරගත්තු දත්තවලට මොකද වුනේ? මුහුදු රැල්ල වගෙයි නැගෙනවා, නැවත බැස යනවා, නැවතත් නැගෙනවා, උදම් අනනවා, පණ්ඩිත වෙනවා, නැවත බසිනවා, වනචාරී කියා කාලයක් නැවත එනවා, නැවතත් පරීක්ෂණ කරනවා.

ලෝකය පටන් ගත් දිනය කවදා දැයි නොපෙනෙන අතීතයක් වුනත්, පෙනෙන දෙයක් නම් තියෙනවා. එනම් මෙතෙක් කාලයකට කරපු පර්යේෂණ ප‍්‍රතිඵල ඉතාම අල්ප බවයි. ඒවාත් මතවාද පමණයි. මේ නිසා හිස් වූ පරීක්ෂණවල ස්වභාවය තේරුම් ගෙන දුකින් මිදීමට දී ඇති මග දැක ගන්න උත්සාහ කළ යුතුයි.

(ඉතිරි කොටස ලබන කලාපයෙන්….)

වහරක අභයරතනාලංකාර හිමිපාණන් විසින් දේශිත සැඟවුණු දහම් කරුණු ඇසුරින් සකස් කළේ :
නීතිඥ චන්දන සිරිවර්ධන